විෂාදය

අධික මානසික අවපීඩන තත්වයෙන් පසු වන සමහර පුද්ගලයන්ට, මායා රූප පෙනීම්, මිත්‍යාමය සිතුවිලි පහල වීම් වැනි සයිකෝසිස් (psychosis) නම් මානසික රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.සයිකෝසිස් (psychosis) තත්වය සමග ඇතිවන මානසික අවපීඩන තත්ත්වය මනෝව්‍යාධික මානසික අවපීඩනය හෙවත් සයිකෝසිස් ඩිප්ප්‍රේෂන් (psychotic depression) ලෙස හැඳින්වේ.

දැඩි මානසික අවපීඩන තත්ත්වයේ රෝග ලක්ෂණ

දැඩි මානසික අවපීඩන තත්ත්වයෙන් පසුවන අයෙකුට දවසේ වැඩි වේලාවක් තුළ ශෝකී බවක් බලාපොරොත්තු රහිත බවක් සහ කිසිම දෙයකට ආශාවක් රහිත බවක් දැනේ. එසේම එය බොහෝ දුරට සෑම දිනයක ම සිදු වේ. දවස ගෙවා ගැනීම අතිශයින්ම අපහසු බවක් දැනේ. අධික මානසික අවපීඩන තත්ත්වයේ අනෙකුත් රෝගී ලක්ෂණ නම්,:

  • අධික තෙහෙට්ටුව
  • කිසි දෙයකින් තෘප්තිමත් නොවීම
  • නින්දට බාධා වීම
  • ආහාර රුචිය වෙනස් වීම
  • තමා නොවටිනා බවක් සහ වරදකාරී බවක් දැනීම
  • අවධානය යොමු කිරීමට අපහසුතාවයක් හෝ අවිනිශ්චිත බවක් තිබීම
  • මරණය පිළිබඳ හෝ සියදිවි නසා ගැනීම පිළිබඳ සිතුවිලි පහළ වීම

සයිකෝසිස් (Psycosis) තත්ත්වයේ රෝග ලක්ෂණ

සයිකෝසිස් (Psycosis) රෝග තත්ත්වය ඇති වීම යනු පහත සඳහන් දේ අත්දැකීමට ලැබීමයි:

  • මිත්‍යා විශ්වාස ඇතිවීම-එනම් සත්‍ය විය නොහැකි සිතුවිලි හෝ විශ්වාස ඇති වීමයි
  • චිත්ත රූප මවා ගැනීම - ඇත්ත වශයෙන්ම නොපවතින ශබ්ද ඇසීම සමහර අවස්ථාවලදී යම් යම් ස්පර්ෂ දැනීම, ගඳ සුවඳ දැනීම, මායා රූප පෙනීම යම් යම් රසවල් දැනීම සිදුවිය හැකිය. මෙහිදී විවිධ ශබ්ද ඇසීම බහුලව සිදු වේ

මිත්‍යා විශ්වාස ඇතිවීමෙන් සහ චිත්තරූප මවා ගැනීමෙන් සැමවිටම පෙන්නුම් කරන්නේ අදාළ පුද්ගලයාගේ දැඩි ලෙස අවපීඩනයට ලක් වූ මානසික ස්වභාවයයි. උදාහරණයක් ලෙස ඔවුන් යම් දෙයකට වරදකාරී බව හෝ ඔවුන් යම් අපරාධයක් කළ බව ඔවුන් දැඩි මතයකට එළඹෙනු ඇත. සයිකොමෝටර් ඇජිටේෂන් ("Psychomotor agitation") නම් තත්ත්වය ද බහුලව ඇති වේ. එනම් විවේකීව, නිශ්චල ව එක් ස්ථානයක සිටීමට නොහැකි වීම සහ නිරන්තරයෙන් නොසන්සුන්කාරී ස්වභාවයක් ඇතිවීමයි. අනෙක් අන්තයේ දී, මනෝ ව්‍යාධික මානසික අවපීඩන තත්ත්වය ඇති පුද්ගලයකුට, සයිකොමෝටර් ඇජිටේෂන් ("psychomotor retardation)" නම් තත්ත්වය ඇති විය හැකිය. මෙහිදී ඔවුන්ගේ සිතුවිලි සහ කායික ක්‍රියාකාරකම් සෙමෙන් සිදු වේ. මනෝව්‍යාධික මානසික අවපීඩන තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට සියදිවි නසාගැනීමේ සිතුවිලි පහළ වීමට වැඩි අවදානමක් ඇත.

මනෝව්‍යාධික මානසික අවපීඩන තත්ත්වයට හේතු මොනවාද?

මනෝව්‍යාධික මානසික අවපීඩන තත්ත්වයට නිෂ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැත. මානසික අවපීඩන තත්ත්වයක් ඇති වීමට නිශ්චිත තනි හේතුවක් නොමැති අතර එය ඇතිවීමට විවිධාකාර හේතු බලපායි. වියෝවීම්, දික්කසාදවීම්, දරුණු අසනීප තත්ව ඇති වීම් හෝ මූල්‍යමය ගැටළු ඇතිවීම් වැනි පීඩාකාරී ජීවන සිදුවීම් සමහර පුද්ගලයන්ට මානසික අවපීඩන තත්ත්ව ඇති වීමට හේතු විය හැකිය. මෙහිදී ජානමය බලපෑමක් ද ඇත. උග්‍ර මානසික අවපීඩන තත්ත්ව පවුලේ ආරයෙන් ලැබිය හැකිය. එනමුත් සමහර පුද්ගලයන්ට සයිකෝසිස් (psychosis) තත්වයද ඇති වන්නේ ඇයි දැයි තවමත් පැහැදිලි නැත. මනෝව්‍යාධික මානසික අවපීඩන තත්ත්වයෙන් පෙළෙන බොහෝ පුද්ගලයන් කුඩා කාලයේ දී අනතුරක් වැනි කම්පන කාරි අත්දැකීමකට මුහුණ දී ඇත.

මනෝව්‍යාධික මානසික අවපීඩන තත්ත්වය ට ප්‍රතිකාර කිරීම

මනෝ ව්‍යාධික මානසික අවපීඩනයට ප්‍රතිකාර ලෙස:

  • ඖෂධ භාවිතය - ඇන්ටි සයිකොටික් (antipsychotic) සහ විෂාදනාශක ඖෂධ වල සංකලනයක් භාවිතා කිරීම. එමගින් psychosis තත්වයේ රෝග ලක්ෂණ සුව කිරීමට උපකාර කළ හැකි ය
  • මානසික චිකිත්සාවන් සිදු කිරීම- දෙ පුද්ගල කථන ප්‍රතිකාර/(the one-to-one talking therapy)සහ සංජානන චර්යා ප්‍රතිකාර/(cognitive behavioural therapy) සයිකෝසිස් (psychosis) තත්ත්වයෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිඵලදායක බව ඔප්පු වී ඇත
  • සමාජීය සහාය - අධ්‍යාපනය ලබා දීම, රැකියා ලබා දීම හෝ නවාතැන් පහසුකම් ලබාදීම වැනි සමාජීය අවශ්‍යතා සඳහා සහාය ලබාදීම

ඔවුන් ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර කෙටි කාලයකට රෝහල් ගතව සිටීමට එම පුද්ගලයාට සිදු වනු ඇත. ඉලෙක්ට්‍රෝ කොන්වල්සිව් තෙරපි (Electroconvulsive therapy (ECT))- පුද්ගලයාට දැඩි මානසික අවපීඩන තත්ත්වයක් පවතී නම් සහ විෂාදනාශක ඖෂධ වැනි අනෙකුත් ප්‍රතිකාර ක්‍රම සාර්ථක නැති නම් ඉලෙක්ට්‍රෝ කොන්වල්සිව් තෙරපි (Electroconvulsive therapy )සමහර අවස්ථා වලදී නිර්දේශ කරනු ඇත. ප්‍රතිකාර බොහෝ අවස්ථාවලදී සාර්ථක වේ නමුත්, පුද්ගලයාව හොඳින් අධීක්ෂණය කිරීම සඳහා පසු හමු වීම් අවශ්‍ය වේ.

අන් අය සඳහා උපකාර ලබා ගැනීම

සයිකෝසිස් (Psychosis) තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් බොහෝ විට ඔවුන් සිතන පතන ආකාරය සහ හැසිරෙන ආකාරය අසාමාන්‍ය බව නො දනිති. ඔවුන්ගේ මෙම නොදැනුවත් භාවය නිසා, ඔවුන් වෙනුවෙන් උපකාර පැතීමට එම පුද්ගලයා ගේ මිතුරන්ට, ඥාතීන්ට සහ සමීපතමයන්ට සිදු වේ. ඔබ සැලකිල්ලක් දක්වන යම් අයෙකු සයිකෝසිස් (psycosis) තත්ත්වයෙන් පෙළෙනවා යැයි ඔබට සිතෙනවා නම්, සහ එම පුද්ගලයා මීට පෙර මානසික සෞඛ්‍ය ප්‍රශ්නයක් සම්බන්ධව ප්‍රතිකාර ගෙන තිබෙනවා නම්, ඔබට එම පුද්ගලයාගේ මානසික උපදේශක වරයා හෝ ප්‍රජා මානසික සෞඛ්‍ය හෙද නිලධාරිනී සම්බන්ධ කර ගත හැකිය. එම පුද්ගලයා psycosis තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්වන ප්‍රථම අවස්ථාව මෙය නම්, එම පුද්ගලයාගේ පෞද්ගලික වෛද්‍යවරයා සමග සම්බන්ධ වන්න.